නිබඳ නුඹ මට පසසනා මුත්
ඒ කවි හැම
මා හද මත
මුලින් ලියුවේ ඔබමයි"
(මහගම සේකර)
ඉහත කවියට පෞද්ගලිකත්වයක් ආරෝපණය වී ඇතත්, එය නිර්මාණකරුවෙකු සම්බන්ධයෙන් සාධාරණ වනුයේ, පෞද්ගලික රාමුවකට වඩා පොදු රාමුවක් තුලදීය. හේතුව, නිර්මාණකරුවකු විසින් නිර්මාණය කරන බොහෝ නිර්මාණහි, පොදු චරිතයක්, පොදු සංසිද්ධියක්, හෝ පොදු සමාජ බලවේගයක්, නිදන්ගතව සිටින, තිබෙන බැවිනි. එම චරිතය, සංසිද්ධිය, හෝ සමාජ බලවේගය, නිර්මාණකරුවකුගේ හදවතෙහි නිර්මාණය කරන කම්පනය, හුදු පරිවර්තකයකුගේ සීමාව ඉක්මවා නොගොස් පරිවර්තනය වෙයි. එබැවින් නිර්මාණහි සැබෑ හිමිකම, නිර්මාණකරුට වඩා අර සමාජ බලවේගයටය යන්න අපේ හැඟීමය.
සැබෑ වටිනාකම හිමිවිය යුත්තේද නිර්මාණයට හා ඊට හේතුභූත වූවට විනා නිර්මානකරුටම නොවේ. ඒ අර්ථයෙන් බොහෝ නිර්මාණකරුවෝ, තම නිර්මාණය ඉදිරියට තබා ඒ පසුපස හැංගෙති. එහෙත්, නිර්මාණය පසෙකලා නිර්මාණකරු උලුප්පන ඊනියා කලා විචාරකයෝ ද හිඟ නැත. පිළිගත් සම්මාන උළෙල වල පවා සිදුවන මේ අපරාධය බොහෝ විට ආධුනික නිර්මාණකරුවන්ට ඛේදනීය ඉරණමක් අත් කර දෙයි. එහෙත් මෙහි අදහස නිර්මාණකරු ඇගයිය යුතු නොවන බව නොවේ. පළමු තැන නිර්මාණයට විය යුතුය.
මෙම අඩවියෙහි පලවන නිර්මාණ සඳහා සයිබර් අවකාශය තෝරා ගත්තේ, ජනප්‍රිය සංස්කෘතියට විදග්ධ සංස්කෘතිය හැකි පමණ අවශෝෂණය කිරීමේ අරමුණින් විනා, ජනප්‍රිය සංස්කෘතියේ ඊනියා තරු කුලකයට එකතු වන අදහසින් නොවේ. එහෙත් ඉන් ජනප්‍රිය සංස්කෘතියෙහි විදග්ධයින් නොමැති බව හෝ අප නියෝජනය කරනුයේ විදග්ධ සංස්කෘතිය බව හෝ නොකියැවේ. ජනප්‍රිය සංස්කෘතිය වේවා විදග්ධ සංස්කෘතිය වේවා එහි ඉතාම පටු සමාජ තීරුවකට ආමන්ත්‍රණය කිරීමට ලැබෙතොත් ඒ සංතුෂ්ටිය තවෙකෙකට දෙවෙනි නැත.
මෙම අඩවිය නිර්මාණය කිරීමෙහිලා මුල සිට අග තෙක් උපදෙස් දෙමින් අප දිරිගැන්වූ පාර්ශව කිහිපයක නම් ලියා තැබීම ඒ නාමයන්ට කරන ගෞරවයක් හා උපහාරයක් ලෙස සලකමු.
මෙම නිර්මානහි ගුණ අගුණ දිග පළල පෙන්වා දෙමින්, මැදහත් විචාරයක යෙදෙන හිතාදර තුසිත් ගුණසේකර (බලංගොඩ) හා නුවන් නිර්මල (කහවත්ත) සොහොයුරන් දෙපළටත්, සයිබර් අවකාශය මේ සඳහා යොදා ගත හැකි බව පෙන්වා දුන් ගයාල් ඒකනායක (මාතලේ) සොහොයුරාටත්, අඩවිය නිර්මාණය හා බැඳී තාක්ෂණික උපදෙස් ලබා දුන් අමිල අබේවික්‍රම (තංගල්ල) හා ඔහුගේ වැඩිමහල් සොහොයුරාටත්, කෘතඥ වෙමු.
ඕනෑම නිර්මාණකරුවෙකු ලොවට බිහිවනුයේ නිර්මාණ වලටත් වඩා එහා ගිය පාඨක මැදිහත්වීම මතය. නිර්මාණකරුවෙකු ජීවත් කිරීම හෝ තිඹිරිගෙහිම මරා දැමීම අතදරා සිටින්නෝ පාඨකයෝමය.
ඔබේ තරාදියෙහි මෙම නිර්මාණවලට ඇති පක්ෂය (ධන/ඍන) කුමක් වුවත්, ඔබේ අදහස ඍජුව පැවසීමට පසුබට නොවන්න.
"පැසසීම විටෙක පුද්ගලයකු ඝාතනය කිරීමට තරම් රෞද්‍ර විය හැකි මුත්, ගැරහීම විටෙක පුද්ගලයකු ජීවත් කිරීමට තරම් සියුමැලි විය හැකිය"
බුදු සරණයි !!!
No comments:
Post a Comment