ms,a¨
ලොකු බාසුන්නැහේ ලොකු මහත්තයාගේ මුණ දෙස වරක්
දෙවරක් නොව බොහෝ වරක් බලා සිටිනු ලොකු මහත්තයාට නොදැනෙන්නට ඇත. මුළු හුන්නස්ගිරියම
හිස මත පතිත වූ නියායෙන් බර කල්පනාවක වැටී සිටින ලොකු මහත්තයාගේ සියුම් චිත්ත
වේගයන් ඔහුගේ මූනින් එලියට එබෙන ඉරියව් වලින් නිරීක්ෂණය කිරීමට හැකි වුවද ඒවා තේරුම් බේරුම් කරගැනීමට තරම් සියුම් විමංසන
හැකියාවක් ලොකු බාසුන්නැහෙට තිබුණද යන්න නම් සැක සහිතය. ඒ නිසාමද අනෙකක් නිසාමද
යන්න නිශ්චිතවම නොකිව හැකි නමුත් කඩින් කඩ
විරාම තබමින් ලොකු මහත්තයාගේ මූණ ලොකු බාසුන්නැහෙගෙ දෙනෙත්හි ගිලි ගිලි ඉපිලී ඉපිලී
තිබුනු බව නම් කිව හැකිය. එහෙත් ලොකු බාසුන්නැහෙට ඉස්සර වී කාරණාව විචාරන්නට තරම්
ආත්ම විස්වාසයක් නොතිබුණි. එබැවින් ඒ දෙනෙත් මේ දෙනෙත් හා ඒක රේඛිය වන තුරු තමන්
නිරත වූ අලස කාරියෙහි අනවරතව නිරත වීමට ඔහුට සිදුවිය.
ලොකු මහත්තයා තමා සේවය කල අනෙක් ලොකු මහත්තරුන්ගෙන්
ඉඳුරාම වෙනස් බව තේරුම් ගැනීමට ලොකු බාසුන්නැහෙට ගත වූයේ සති කීපයකි. නිලයෙන්
බලයෙන් මත්ව බෙරිහන් දෙන ඇතැම් මහත්තරුන්ට වඩා ලොකු මහත්තයා සිය දහස් ගුණයක් හොඳය.
සරලය. අව්‍යාජය. විටෙක සුළු සේවකයෙකු එක්ක වුවද විහිළු තහළු කරන ඔහු තවත් විටෙක
පොල් කට්ටකට වුව වත් කැරෙන තේ වතුර උගුරට දෙකට ඇද හරී. ඒ අතරේම කිතුල් හකුරු
පෙත්තක රහ බලයි. විඩාබර සේවකයෙකු සිය තෙහෙට්ටුව නිවා ගැනීමට පැමිණෙන තාවකාලිකව
දෙල් ගසක් යට අටවා තිබූ ටකරං වහලය යට ඇතිරූ සිමෙන්ති උර උඩ වැතිරෙයි.
මේ හැමදෙයක්ම
නිරායාසයෙන්ම වාගේ සිදුවීම කැපී පෙනෙන ලක්ෂණයකි. එහෙයින්ම බොහෝ සේවකයන්ට අනුව ලොකු
මහත්තයා වූ කලි සරල බවේ අනන්තයටම ඇවිද ගිය මහත්මයෙකි. එහෙත් ඇතැම් සේවකයන්ට අනුව
ලොකු මහත්තයාගේ මේ ව්‍යාජ රඟපෑම සේවකයන්ගේ ශ්‍රම සාරය ඇබිත්තක් හෝ ඉතුරු නොකොට උරා
බිමට තනන අංක එකේ අංකූරෙකුගේ රඟපෑමටත් එහා ගිය එකකි. ඒ අර්ථයෙන් නම් ලොකු මහත්තයා
වංචනිකයෙකි.
විනාඩි දහයකට පමණ පසුව ලොකු මහත්තයාගේ ඇස් තමාගේ ඇස් හා
ඒක රේඛිය වනු ලොකු බාසුන්නැහේ හැඳින්නේය. ක්ෂණිකව නංවා ගත් සිනහව කලින් සැලසුම් කර
තිබුණක් බව ලොකු මහත්තයාට ඒත්තු ගියේ දෝයි සැකයට මෙන් ලොකු බාසුන්නැහෙ කට කොන්
වලින් ඇද සිය සිනහව පළල් කළේය. එහෙත් එහි
ගැබ්ව තිබුනේ කලින්ටත් වඩා ව්‍යාජ බවකි. ඒ
බව තේරුම් ගන්නට තරම් විවේකි මනසක් එවෙලෙහි ලොකු මහත්තයාට තිබුනෙම නැත. එහෙයින් වෙනසක්
නොපෙන්වාම ප්‍රති සිනහ නැංවූ ඔහු සිය දෙනෙත කලින් ගාල් කොට තැබූ තැනම ගාල් කළේය.
ඝනව වැඩි ගිය රැවුල නිසා සිනහව සමග මුහුණේ ඇඳුනු සියුම් රේඛාවන් ඉස්මතු නොවුන මුත්
රැවුල් ගස් අතරින් සීරුවට බැස අර සියුම්
රේඛාවන් ඉස්මතු කර ගැනීමට ලොකු බාසුන්නැහෙගෙ පදම් වූ මනසට පිළිවන් විය.
තවදුරටත් නොඅසා සිටිය හැකි හික්මීමක් නොලද ලොකු
බාසුන්නැහේ ලොකු මහත්තයාගේ කල්පනාව බින්දේ කැටපෝලයකින් විද කුරුල්ලෙකු බිම හෙලන
ගානටය.
“මහත්තය අසනීපයක්වත්ද”
“...න් ...නෑ බාසුන්නැහෙ අසනීපයක් නම් නෑ ..මේ ...”
එපමණකි.. ලොකු
මහත්තයා නිහඬය.
පුද්ගලික ප්‍රශ්නයකදී වුවද සමහර විටෙක මහ හයියෙන් හඬා
දොඩා ගැනීම බොහෝ ගං ගෙවල් වල දැක්ක හැකි සාමාන්‍ය ලක්ෂණයකි. එය එම ප්‍රශ්නය කරදහියක
ලියා හුළගේ පා කිරීමක් වැන්න. එහෙත් උගත්
යැයි සම්මත බොහෝ නාගරික ජනයා එම ක්‍රියා පිළිවෙතින් බොහෝ දුරට මිදුනෝ වෙති. ඔවුන්
තම තමන්ම බොහෝ විට ගුප්තවම ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට වෙහෙසෙති. ඇතැම්විට
බිරිඳගේ ප්‍රශ්න සැමියාද සැමියාගේ ප්‍රශ්න බිරිඳද නොදනී. මෙම පුද්ගලිකකරණය පවුල්
සංස්ථාව තුල බල පැවැත්වීම සංස්කෘතික දියුණුවක්ද?
මෙය දියුණුවක් කෝක වෙතත් හුදු සංස්කෘතික ආභාසයක් පමණකැයි කිව හැකිය. මෙම ආභාසය
අව්‍යාජ නොවෙනවා පමණක් නොව බටහිර අධ්‍යාපනය
තුලින් බටහිර සංස්කෘතික ආධිපත්‍යට බිලිවීම පිළිඹිබු කරන්නකි. එහෙත් බොහෝ උගත්තු ඒ
ඊනියා හැදියාවක් ලෙස සලකත්. බටහිර ඉංජිනේරු උපාධියක් ලැබූ ලොකු මහත්තයාද මෙම හැදියාව කරගහගත්තෙකු
වීම පුදුමයක් නොවේ. ඔහු තම බිරිඳගෙන් පවා මේ ප්‍රශ්නය වසන් කලේ එනිසා විය හැකිය. එහෙත්
දිය යට ඔබා සිටින රබර් බෝලය උඩට මතුවීම ලොකු මහත්තයාගේ ඉංජිනේරු ශිල්පයට මෙන්ම
ඥානයට ද රහසක් විය නොහැකිය.
තමා මෝඩයෙකු මෙන් කලබලයට පත්ව හොඳ හිත දිනා ගැනීමට
ගොස් ලැජ්ජාවට පත් විණැයි ලොකු
බාසුන්නැහෙට සිතිනි.
“මහත්තය ඇහුවට අමනාප වෙන්නෙපා..මං මහත්තය දිහා ගොඩක්
වෙලා බලං ඉඳල බැරිම තැනයි ඇහුවෙ”
පාපොච්චාරණයක බඳු ඒ දෙඩිල්ලෙන් ලොකු මහත්තයාගේ මුහුනෙහි යම්තමින් තැවරී ගිය සිනහ මාත්‍රය අහස් යානයක් අහස දෙබෑ කරමින් සිය මගෙහි තබන මං සලකුණු මැකීයන පරිද්දෙන් සෙමෙන් මැකී ගියෙන් ලොකු බාසුන්නැහැ කරබා ගෙන සිය කාරියෙහි නිරත විය.
“බාසුන්නැහෙ..සිමෙන්ති කොට්ට ටික අද හවසට එනව” ටික වෙලාවකට පසුව කවුදෝ කියනු කාටදෝ ඇසුනි..
*****
සාමාන්‍යයෙන් වැඩ බිමෙහි වැඩ දහවල් ආහාරයට නතර වනුයේ
පස්වරු එකට පමණය. දහවල් ආහාරයෙන් පසු පැයක් පමණ විවේක ගැනීම සේවකයන්ගේ සිරිතය.
බුලත් විටක් සැපීම, සිගරට්ටුවක් දෙකක් දැල්වීම, මෙබිමට අමුත්තක් නොවන බව අමුතුවෙන්
කිව යුතු නොවේ. පොල් අත්තකින් සුද්ද කර ගත් ඉරටුවකින් දත් මුල් හා ඒ අතර රැඳී ඇති
ආහාර කැබලි ඉවත් කිරීම සමහරෙකුට නම් ආශ්වාදජනක කාරියකි. එහි ආශ්වාදය ඇත්තේ අනිකක
නොව ඉදිරෙන ආහාර කැබිලි වල රස මරන්නට නැවතත් ඇති හැකි කමෙහිය. සමහරු නම් සිමෙන්ති
උර උඩ ඔහේ දිගාවී අහස පොලොව ගැටලන්නට මෙන් කල්පනා කරති. කොතරම් කල්පනා කලත් එම කල්පනාව
ගෙවී නොයේ. ඊයෙත් අදත් හෙටත් එම කල්පනාව
අළුත්ය. සදාකාලයටම පොදුය.
වෙනදාට සේවකයකු එක්ක විහිලු තහළු කර ලොකු මහත්තයා
වැඩිපුර සිනාසෙන්නේ මේ වෙලාවටය. සිනාසෙන විට උස් පහත් වන දෙඋර, නෙරා ගිය බඩගෙඩිය
ලොකු මහත්තයාගේ අමුතු හැඩයක සරීර කූඩුවට අමුතුම හැඩයක් ගෙනෙයි. එහෙත් අද? වෘත්තීය සමිති නායකයෙකුට
එල්ල වුනු තදබල මැර ප්‍රහාරයකින් කම්පනයට පත්වූවන් ලෙස සාමාන්‍ය සේවකයෝද හැසිරෙති!
“ලොකු බාසුන්නැහේ”
ලොකු මහත්තයාගේ හදිසි හඬින් අවදි වුනු ලොකු බාසුන්නැහෙ
සරම ගසා දමා නැවතත් හැඳ අතේ තිබු ගිරයද අතැතිවම ලොකු මහත්තයා දෙසට තල්ලු විය. ලොකු
මහත්තයා කෙරේ පහව නොගිය ගෞරවය ශේෂව තිබෙන සටහන් ඒ ගමනට ඇල්ලී තිබිණි. දෙදෙනාම නතර
වුනේ වැඩබිමෙහි කොනක තිබුණු පේර ගසක් යටය.
“පුදුම රස්නයක් බාසුන්නැහේ තියෙන්නේ”
“හවසට වහි වගේ මහත්තය. එහෙම උනොත් දාපු කොන්ක්‍රීට්
එකටත් හොඳයි හැබැයි”
ලොකු මහත්තයා පහතට නැමුණු පේර අත්තකට බර දිනි. ලොකු
මහත්තයාගේ බර දරා ගන්නට තරම් පේර අත්ත සවිමත් නොවින. අත්තක වසා සිටි කාක්කෙකුද අත්ත බිඳී හඬින් තිගැස්සී අහසට පනින්නට විය. ලොකු මහත්තයගේ මුහුණෙහි අද දවසේ ප්‍රථම වතාවට ඇඳුනු තරමක අව්‍යාජ සිනහවක් බේරෙන්නට විය.
“අර..බාසුන්නැහෙ දවසක් කිව්ව නේද ගුරුකං කරන
හාමුදුරු නමක් ගැන”
“ඔව් මහත්තය.. කොට්ටඹු ගෙදර හාමුදුරුවො ”
උගුර පෑදූ ලොකු මහත්තයා යලිත් නිහඬ විය. මේ හැසිරීම දැන්
දැන් ලොකු බාසුන්නැහෙට ද ඇති කරන්නේ එසේ මෙසේ කුතුහලයක් නොවේ. පුවක්
ගෙඩිය ලෙලි ගැහීමට ගත් ගිරයේ එක අන්ඩකින් සිය බෙල්ලේ පිටුපස කසා ගන්න ලොකු
බාසුන්නැහේ ලොකු මහත්තයාගේ මුවින් ගිලිහෙන වචන ඩැහැ ගන්නට බලා සිටින්නේ කෑමට යමක්
විසිකරන තුරු බලා සිටින ගැබ්බර බැල්ලියකගේ ලිලාවෙනි.
“තාම හාමුදුරුවො ගුරුකං කරනවද”
“දැං නං ඒ සාස්තරේ ඒ හැටි යෙදීමක් නෑ ඒත්.. ඉඳල හිටල ඔය හිතවතෙකුට ඕන උනොත් මොනවහරි
කරල දෙනව. දැන් හාමුදුරුවෝ ටිකක් වයසයිනෙ මහත්තය. ඇරත් ටිකක් ලෙඩින් දැන්. මගේ හොඳ
හිතවතා ඇයි මහත්තය”
ලොකු මහත්තයාගේ බඩේ දඟලන ආමයක් බඳු උත්තරය උගුරටම
ගෙනැවිත් වැමෑරිමට තබා නිහඬ වීමට මෙවර ලොකු බාසුන්නැහෙට හැකි විය. එයින් ලද උත්තේජනයෙන් මෙන් ලොකු මහත්තයා ලොකු බාසුන්නැහෙට
වඩාත් කිට්ටු උනේ රහසක් කියන්නටමය.
“බාසුන්නැහේ මගේ මස්සිනා නාහෙට නාහන අමු තිරිසනා ඌ මගෙන්
කප්පම් ගන්නව වගේ හැම මාසෙම සල්ලි ගන්නව
බලෙන්. නෝනවත් දන් නෑ හරියට මේ ගැන. මම ඌට බෙල්ල ලගටම හිර වෙලා ඉන්නෙ බාසුන්නැහේ. මට
වෙන කරන්නම දෙයක් නැති නිසයි බාසුන්නැහෙටම කියන්නෙ. බාසුන්නැහෙට පුලුවන්නං
හාමුදුරුවොන්ට කියල මට අර වැඩේ කරවල දෙන්න”
සකල සරුවාංගයම හීතල වී ගිය මොහොතක හිස මත පුපුරා ගිය
රතිඤ්ඤා කරලක කම්පනයකට වැඩි කම්පනයක් ලොකු බාසුන්නහෙට දැනිණි. “අර වැඩේ” යන්නෙන්
ලොකු මහත්තයා හඟින්න කුමක්ද යන්න හේ හොඳාකාරවම දනී. ලොකු මහත්තයා සිය හිස මත දරා
උන් හුන්නස්ගිරියම තම හිසට පාත් කළා නොවෙදැයි ලොකු බාසුන්නැහෙට සිතිනි.
තමාට කොන්ත්‍රාත්තුව භාර දුන් දින රාත්‍රියෙහි කදිමට
පදම් වී සිටි මොහොතක තමා කොට්ටඹු ගෙදර හාමුදුරුවන් හා කල කී දෑ ලියු පත්ඉරු
පෙරලූ අන්දම දැන් ඔහුට මතක් වෙයි.
“මහත්තයට කියන්න... කොට්ටඹුගෙදර හාමුදුරුවො රජ වැඩකාරය.
හාමුදුරුවො කිව්වට ගෑනු හත් අට දෙනෙක්ම ආස්සරය කරපු නීචයෙක්. මහත්තයට මම මොනව හංගන්නද
මහත්තය..ඕන ගුරුකං වැඩකට ගුරු පඬුරු
විදියට ඕන කරන්නෙ ඇඹුල් මාළු හට්ටියයි සිගරට් පැකට් එකයි. මම කාලයක්
අඟුණකොළපැලැස්සෙ හිටිය. එහෙ හිටිය සිරිසෝම කියල හාදයෙක් මාත් එක්ක එකට එකමයි.
බැරිම තැන වැඩේ කළා හාමුදුරුවොන්ට කියල!
දවස් හතයි ගියේ කිරිගහට ඇන්න වගේ. පිල්ලුව යැව්වේ පොලඟට දිස්ටි කරල. ආයෙ කොහේ කියල
බේරෙන්නද මහත්තය හොයා ගෙන ගිහිල්ල දස්ට කරල තිබ්බේ.”
තමා කල කාලකන්නි පාපක්‍රියාව ලුණු ඇඹුල් ඇතුව ලොකු
මහත්තයා හා කී කල වරදෙහි බරපතලකම දැන්
ලොකු බසුන්නැහෙට තේරෙයි. එහි විපාකයටම යැයි නිශ්චිතවම කිව නොහැකි වුවද ඊට හරියටම
අඩ මාසයකට පසුව තම පළමු බිරිය වැවේ ගිලී මිය ගිය මතකය හිත පතුලෙන් කැකෑරී මතුව ආවේ ගිනි කන්දක් විදාරණය වන සැටියටය.
තමාගේ දකුණු කකුල ට්‍රැක්ටර් රෝදයට යට උනේද ඊට ආසන්න දිනයකය.
තම සිඟිති දියණිය හා පුතනුවනුත් දැන් බිරිය වන කල්‍යාණිත්
දැන් ලොකු බාසුන්නහැගේ ඇස් ඉදිරියෙහිය. පුතත් දුවත් ඉස්කෝලේ ඇරී එයි. කල්‍යාණි පිළිකන්නේ සිට
මල් වැටුණු ලා දුඹුරු චිත්තයේ අත පිහදාමින් මිදුල දෙසට එයි. ඒ චිත්තය ගිය සිංහල අවුරුද්දට අරන් දුන්නු චිත්තය නොවේද? මේ පාප ක්‍රියාවට හවුල් වීමෙන් තමා කරන්න යන වරදට මේ අහිංසකයන්ට කවදාක හෝ වන්දි
ගෙවන්නට වෙන බව ලොකු බසුන්නැහේ
අත්දක්මෙන්ම දනී. දැන් නම් ලොකු මහත්තයා මස්සිනාට කෝක වෙතත් තමා ලොකු මහත්තයට
බෙල්ල ලගටම හිරව ඇති බව නොරහසකි.
******
එම සිද්ධියෙන් තුන් මාසෙකට පමණ පසුව, කොට්ටඹු ගෙදර
හාමුදුරුවන්ගේ ලෙඩ දුක් විමසීමට ගිය එක්තරා විවේකි දිනයක, තුටු පඬුරු ලෙස ජයසේකර
ඉංජිනේරු මහත්තයා ගෙන් ලද ඇඹුල් මාළු හට්ටිය හා සිගරට් පැකට්ටුව ගැන, ආවතේව කාරයා
සැල කර සිටි මොහොතෙහි, ගැහෙන හදවතේ වේගය පාලනය කිරීමට මෙන් ලොකු බාසුන්නැහෙ සිය
පපුව තදින් අත ගා ගත්තේය. ඉනූ කෙල පිඬ අමාරුවෙන් ගිල්ලේය. ගඳ ගහන අසුචි
ගොඩේ ඒ මේ අත පෙරලෙමින් කුණුහරුප වමාරමින් උන් කොට්ටඹු ගෙදර හාමුරුවන්ට
ලොකු බාසුන්නැහෙගෙ පැමිණීම ගැන වගක් නොවිණි.
“මේවා අස් කරපියව් කාලකන්නි”
“මම තමයි ලොකුම කරුමෙ කරල තියෙන්නෙ දවස තිස්සෙ කැත කුණු
අදින්න” ආවතේව කාරයා එසේ කියා ආවාසගෙයි
පිටි පැත්තට ගියේ පැහෙන උණු වතුර හැලියට ගින්දර දමන්නටය .
“පරයා”
ලොකු බාසුන්නැහෙ මොහොතක් නිහඬව හිඳ මිමිණුවේ ජයසේකරටද?
හමුදුරුවන්ටද? යන්න නොකියමි.
No comments:
Post a Comment